ඉංග්‍රීසි - I

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඉංග්‍රීසි - English.


{සහයෝගය: මෙම වෙබ් අඩවිය ක්‍රියා (Play) කරවීමට හා නැවත්වීම (Pause) කිරීමට හැක.}
(වේගය වෙනස් කිරීමට Play Button එක මත කිහිප වරක් Click / Touch කරන්න.)
[Play Button එක හා Pause Button එක මඟින් වේගය අඩු-වැඩි කර ගත හැක.]


ජාත්‍යන්තර භාෂාවක්” වශයෙන්, ඉංග්‍රීසි භාෂාවෙහි ඇති කාලීන අවශ්‍යතා හා වැදගත්කම් නැවත නැවත අමුතුවෙන් ම පැහැදිළි කළ යුතු නැත.

පැහැදිළි කළ යුතුව ඇත්තේ, කොතරම් ‘ඉංග්‍රීසි පංති’ ගියත්, ඉංග්‍රීසි පොත-පත ආදිය අධ්‍යයනය කළත්, ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රාමාණික දැනුමක් නොලැබීමට හේතුවයි.

මෙහිදී අප විසින් මුලින් ම නැඟිය යුත්තේ, ඉංග්‍රීසි භාෂාව හැසිරවීම (= කියවීම, ලිවීම, කතා කිරීම, තේරුම් ගැනීම හා තේරුම් කරදීම) සම්බන්ධයෙන් තමා තමා ගැන ම තෘප්තිමත්ද? යන ප්‍රශ්නයයි.

පිළිතුර “ඔව්” නම් තව දුරටත් කතා කිරීම අනවශ්‍යය (සුබ පැතුම්!); පිළිතුර “නෑ” නම් හේතු සොයා බලා පිළියම් යෙදීම අවශ්‍යය. ඉංග්‍රීසි භාෂාව මැනවින් ග්‍රහණය නොවීමේ ප්‍රධාන හේතු ලෙස,

1. අකමැත්ත (උනන්දුව හා ආශාව අඩුවීම).
2. එපා වීම හෝ එපා කරවීම (යම් හේතුවක් නිසා තමන්ටම හෝ බාහිර කෙනෙක් / දෙයක් නිසා).
3. සබකෝලය, ලැජ්ජාශීලීබව, අවස්ථා මඟ හැරීම ... ආදී මානසික (සාමාජීය / ආර්ථික / කායික ...) හේතු.
4. ජාන, පරිසරය, කර්ම, භාෂා / සහජ ඥානය, ආශ්‍රය ... ආදී හේතු.
5. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පිළිබඳව ඇති නොගැඹුරු දැනුම [මතක තබා ගැනීමේ ක්‍රමවේදයන් නොදැනීම හා සතතාභ්‍යාසය / පරිකල්පනය (සිතින් සිහින දැකීමේ හැකියාව) නොමැතිවීම තුළින්].

දැක්විය හැකි අතර, මෙම හේතු සියල්ලට ම පිලියමක් ලෙස හා ඉංග්‍රීසි දැනුමෙන් ද පොහොසත් ශ්‍රී ලාංකික පරපුරක් වෙනුවෙන්, මෙකල ජනප්‍රියතම මාධ්‍ය වන අන්තර්ජාලය මඟින් “නොමිළේ” ඉංග්‍රීසි ඉගැන්වීමට අපි අදහස් කළෙමු.

ඉහත කාරණා පහෙන්, 05 වන කාරණය ගැන වැඩි අවධානයක් යොමු කිරීම මෙහි ලා ඉතා වැදගත්ය. අද වන විට, ඉංග්‍රීසි භාෂාව ගැන යම් / තරමක හෝ දැනුමක් නොමැති කෙනෙක් නැති තරම්ය. එහෙත් ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නම්, මැනවින් මතක තබා ගත යුතුම කොටස් ඇත.

“එහින් මෙහින් උකහා / අහුලා ගත් ‘ඉංග්‍රීසි කෑලි’ යොදා ‘කැඩිච්ච ඉංග්‍රීසි’ (Pigeon English / Pidgin English) කතාකිරීම” [එහි ද යම් වටිනාකමක් / හොඳක් ඇත.] යනු ‘කතාකරන ඉංග්‍රීසි’ (Spoken English) නොවන බව වටහා ගත යුතු ය.

‘කතාකරන ඉංග්‍රීසි’ හෝ ‘ව්‍යාකරණ ඉංග්‍රීසි’ (English Grammar) හොඳින් ම හැසිරවීමට නම්, භාෂාවක හදවත වූ ‘ව්‍යාකරණ’ ප්‍රගුණ කළ යුතුය. ‘ව්‍යාකරණ’ දන්නා තරමට ම, භාෂාවක් මැනවින් හැසිරවීම ද පහසුය; එසේ හැසිරවීමට ‘ව්‍යාකරණ’ මතක තබා ගත යුතුම ය.

එබැවින් මතක තබා ගැනීමේ සරල තාක්ෂණික ක්‍රම වේද පහක්, ඉතා කෙටි හැඳින්වීමක් සහිතව පහත දක්වනු ලැබේ.

1. සහජ පුද්ගලයා (Gifted Person) - ඉතා ඉක්මණින් මතකයේ රඳා පවත්වා ගන්නා හා ඉතා ඉක්මණින් ම දැනුම උරා ගන්නා පුද්ගලයා.
2. ශ්‍රව්‍ය පුද්ගලයා (Auditory Person) - වැඩිපුර මතකයේ පවතින්නේ අසන දේවල්ය.
3. දෘශ්‍ය පුද්ගලයා (Visual Person) - වැඩිපුර මතකයේ පවතින්නේ දකින දේවල්ය.
4. ඵස්ස පුද්ගලයා (Tactile Person) - වැඩිපුර මතකයේ පවතින්නේ කරන දේවල්ය.
5. පාඨන පුද්ගලයා (Reader) - වැඩිපුර මතකයේ පවතින්නේ කියවන දේවල්ය.

මතක තබාගන්නා ක්‍රමවේදය අනුව ඔබ ඔබව මැනවින් හඳුනාගෙන, ඔබ,

1. නම් - ඔබට මතක තබා ගැනීම පිළිබඳව කරදර වීමට අවශ්‍ය නැත; කලින් කලට මතකය අලුත් කර ගැනීම වටී / අවශ්‍යය ය.
2. නම් - සෑම දෙයකම ශබ්දය මතක තබා ගැනීමට සූක්ෂමව උපක්‍රමශීලී වෙන්න; උදාහරණයක් ලෙස ඔබ ශබ්දනඟා කියවීමට හෝ නිශ්ශබ්දව කියවන ඕනෑම වචනයකට අදාළව සිතේ ඇතිවන ශබ්දය මතක තබාගැනීමට හුරුවෙන්න; නොයෙක් ක්‍රම වලින් ඉංග්‍රීසි භාෂාවට (කතාකරන වීඩියෝ පාඩම්වලට ද) මැනවින්, නැවත-නැවත සවන් දෙන්න.
3. නම් - දර්ශනය මතක තබා ගැනීමට සූක්ෂමව උපක්‍රමශීලී වෙන්න; උදාහරණයක් ලෙස ඔබ කියවන ඕනෑම වචනයක් දෙස මද වෙලාවක් බලා හිඳ, (වචනයක අකුරු පවා) මතක තබාගැනීමට හුරුවෙන්න. (කතාකරන වීඩියෝ පාඩම් හා අකුරු ලොකු කිරීමේ පහසුකම් සපයා ඇත.)
4. නම් - තමා සමඟම කතාකිරීම (ස්වයං-සංවාද), දන්නා / නොදන්නා වෙනකෙකු සමඟ කතාකිරීම / ලිවීම (සංවාද / චැට්), කොටසින් කොටස මතක් කිරීම ආදියට හුරුවෙන්න. (කෙටි) සටහන් / ප්‍රශ්නෝත්තර / පිටපත් ආදිය ලියන්න.
5. නම් - නිතර නිතර, නැවත නැවත, දිගින් දිගට ම කියවන්න; කටපාඩම් කරන්න.

{මතක තබා ගැනීමේ තවත් ක්‍රමවේද පහක්.

1. මතක සිහින මාලිගාව / කතාන්දර ක්‍රමය - උදාහරණයක්: ඔබ මතක තබා ගැනීමට අදහස් කරන දේ, සුවිසල් සුන්දර මාලිගාවක අංගෝපාංග ලෙස හා/හෝ  කතන්දරයක් ලෙස මතක තබාගත හැක.
2. කොටස් කිරීම - උදාහරණයක්: “දස අකුසල්” මතක තබා ගත යුතු නම්: කයින් 3යි - වචනයෙන් 4යි - සිතින් 3යි ලෙස කොටස් කරගත හැක.
3. නැවත නැවත භාවිතය - උදාහරණයක්: නැවත නැවත සිහි කිරීම / නැවත නැවත භාවිතය / සජ්ඣායනය.
4. නිර්මාණාත්මක රටා - උදාහරණයක්: රාජධානී මාරුව (අපො දයා කුඩේ නින්කො) / වර්ණාවලිය (රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක්/ඉබ්බෙක් දකී / ආවර්තිතා වගුව (හලෝ හීලි ලිලීගේ බෙල්ල බල්ලෝ කාලා, නැන්දා ඔතන ෆයිට් නේද? නංගි මගේ අල්ල සිප සනසාපං කෙල්ලෙ, ආදරේට කවුරුත් කැමතියි ...)
5. ඉගැන්වීම - උදාහරණයක්: නොමිලේ ම හෝ සුළු මුදලකට හෝ පොත්-පත් - (මෙවැනි) වෙබ් අඩවි / බ්ලොග් අඩවි / සමාජ මාධ්‍ය / පිටු-ගෲප් ආදිය මඟින් ඔබ දන්නා දේ තව කෙනෙකුට / අයට උගන්වන්න.}

තවද, ඔබ ඉහත කුමන ආකාරයේ පුද්ගලයෙක් වුව ද, එකී ඕනෑම එක් ක්‍රම වේදයක් / කිහිපයක් / සියල්ලම වුවද  භාවිතා කළ හැකි අතර, එමඟින් ඕනෑම දෙයකට / විෂයකට අදාළ ලිඛිත / මුද්‍රිත / ශ්‍රව්‍ය / දෘශ්‍ය ආදී ඕනෑම දෙයක්, මතකයේ දිගු කලක් ගබඩා කර තබා ගත හැක.

එමෙන් ම, සතතාභ්‍යාසය නොහොත් ඉහත ක්‍රම නිතර නිතර භාවිතය, පරිකල්පනය නොහොත් ‘සිතින් දැකීම’ හා  නිතර නිතර විවිධ (ඉංග්‍රීසි-සිංහල / ඉංග්‍රීසි-ඉංග්‍රීසි) ශබ්දකෝෂ (පොත්-පත් / ලිපි-ලේඛන) භාවිතය, (ඉංග්‍රීසි කථා / ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම 😊) ආදිය තුළින් ද ඔබට ඉතා විශිෂ්ට මතක ශක්තියක් / දැනුමක් ළඟා කරගත හැක.

ඉහත ම පෙරකී පරිදි, “භාෂාවක හදවත වූ ‘ව්‍යාකරණ’ රීති” කෙරෙහි වඩා වැඩි ගැඹුරු අවධානයක් යොමු කරමින්, මුල සිට අඟ දක්වා (A to Z), ඉතා සරලව / ගැඹුරින් ඉංග්‍රීසි භාෂාවේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි, සිංහල ව්‍යාකරණයන්ට සමගාමීව පාඩම් පෙළක් (පාඩම් 500ක්) ඔබ වෙනුවෙන් “සම්පූර්ණයෙන් ම නොමිලේ” ගෙන ඒමට අප සූදානම්.

දිගින් දිගට ම සූක්ෂමව ස්වයං-අධ්‍යයනයේ යෙදෙන්න.

ස්තුතියි! (https://ingreesi.lk.ingreesi.com/ | ඉංග්‍රීසි කෙළපැමිණෙන්න!)

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll